මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි. එමනිසා “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දික් කිරීම විහිළුවකි. “ගව මස් නොකනු” ව්‍යාපාරය සංඝයා වහන්සේලාත් බෞද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටෙහි පවත්වාගෙන යන්නේ මෙරටේ තිබෙන එකම පවත් (අකුසලයත්), එකම ප්‍රශ්නයත් එයයි යන හැඟීම ඇතිව දෝ යි සිතේ. එයට එතරම් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී ඇත.එසේම ඒ අයවළුන් විසින් එම ව්‍යාපාරය කරගෙන යාම පිලිබඳව අපගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. එහෙත් එතුලින් මෙරට වෙසෙන මුස්ලිම් සමාජයට රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, අත් පත්‍රිකවලින් හා අන්තර්ජාලය තුලින් බැන වැදීම, චෝදනා නැගීම පිළිගත නොහැකිය.

ශ්‍රි ලංකාවේ මස් මාංශ වෙළඳාම කරන්නේ මුස්ලිම් වරුන් පමණක් නොවේ. මුස්ලිම් නොවන බෞද්ධ, හින්දු හා ක්‍රිස්තියානි අයත් මෙම වෙළඳාම කරති. මෙම මාංශ වෙළඳාමට අනුමැතිය දී ඇත්තේ රජයයි. ඊට කඩවල් ටෙන්ඩර් මාර්ගයෙන් වෙළඳුන්ට පවරා දෙන්නේද රජයට අනුබද්ධ ආයතන වේ. කරුණු කාරණා මෙසේ තිබියදී මුස්ලිම් වරුන්ට බැන වැදීමෙහි තේරුමක් නැත. එපමණක් නොව, මුස්ලිම් වරුන් මස් කඩ දාපු පලියට බෞද්ධ ජනතාවට බලෙන් මස් කවන්නට ගියේද නැත. මුස්ලිම් වරුන්ගේ මස් කඩ නැති නිසාම බෞද්ධ ජනතාව මස් නොකා සිටින බව තර්ක කල හැකිද? මුස්ලිම් නොවන විශාල පිරිසක් මස් කඩ පවත්වාගෙන යනවා නොවේද?

එබැවින් මුස්ලිම් සමාජයට මෙය අරභයා බැන වැදීම මෝඩ කමකි.

බුදුරජාණන් වහන්සේ එකම එක සතෙක් (ගවයෙක්) මුල් කරගෙන “මස් නොකනු” යනුවෙන් දේශනා කලේ නැත. උන්වහන්සේගේ දේශනාව ඊට වඩා පුළුල් විය.
“ලොව ඇති කිසිම සතෙක් නසන්න එපා ” යන්න “පානාතිපාත වේරමණී සික්ඛා පදං සමාදියාමි ” යන සිල් පදයෙන් දේශනා කල සේක.

උන් වහන්සේ එසේ දේශනා කර තිබියදී සතුන් නොමැරීමේ ව්‍යාපාරය ගවයාට පමණක් සිමා කර ගැනීමේ අයිතිය ඇත්තේ කාටද? එය උන් වහන්සේට කරන අගෞරවයක් නොවේද?

අප රටේ ධිවර අමාත්‍යංශයක් තිබේ. රට වටේටම තිබෙන්නේ මහ මුහුදයි. වෙරළාසන්නයේ මාළු අල්ලන්නෝ බොහෝ දෙනෙකු සිටිති. අපේ රටේ මාළු, කරවල, උම්බලකඩ, ආහාර වශයෙන් ගන්නා බෞද්ධයන් එමටය. මේ හැර කුකුල් මස්, බිත්තර, එළු මස්, උරු මස්, අනුභව කරන්නෝද අති විශාල පිරිසකි.

කුඹුරේ වැඩ ආරම්භ කල දින පටන් හාල් ටික ගෙදර ගේන කම්, කෙතරම් කුඩා කෘමීන්, සතුන්, පනුවන් මැරෙනවද? මරනවද?

මේවා ගැන කිසිවක් කතා කරන්නේ නැත්තේ ඇයි? එළදෙන “කිරි අම්මා ” කියමින් සැවොම එළදෙනගේ කිරි බොති. පිටි කිරි හෝ වේවා එළදෙනගේ කිරි වලින් නිපදවුවකි. ඇත්තෙන්ම කිරි අම්මගේ කිරි ටික අයිති ඒ අම්මගේ පැටියටයි. එය පැහැර ගැනීමත් වරදක් නොවේද ?

මෙසේ බොහෝ කරුණු තිබියදී අප ඒ ගැන කතා නොකළේ බෞද්ධයන්ගේ සිත් රිදෙයිදෝ යන සැකයිනි. එහෙත් දැන් දැන් ගවමස් වලට එරෙහි ප්‍රචාරය කරන විලාසය නුදුරු දවසක සිංහල-මුස්ලිම් ජාතිවාදී ගැටුමකට මුල් වෙයිදෝ යන තත්වයක් අති වූ හෙයින් කතා කරමු. යම් කෙනෙක් හෝ සමාජයක් යම් දෙයක්, පිලිබඳව දරන මතය එළිදරව් කිරීමෙහි කිසිදු වරදක් නැත. එය ඒ අයගේ අයිතියකි. එය සමාජය අතර ගැටුමක් ඇති කරයි නම්, එවැනි ගැටුම් ඇති කරන චේතනාවෙන්ම ප්‍රචාරය කෙරේ නම්, වන්නේ කුමක්ද? ගවයින් මරනවා වෙනුවට මිනිසුන් මැරීම නොවේද? එසේ කිරීම නිවැරදි බව කව්රුන් හෝ සිතනවාද?

පන්සිල් පද තුල ප්‍රාණ ඝාතනය පමණක් නොව තවත් ද කියවේ.”කාමේසු මිච්ජාචාර වේරමණී සික්ඛා පදං සමාදියාමි” “සුරාමේරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛා පදං සමාදියාමි.” යන ප්‍රධාන කරුණු දෙකකි.

මෙරටේ කාමය වරදවා හැසිරීමේ සෑම දොරක්ම විවෘතව ඇත. මේවා නිසා කුඩා දරුවන් සංචාරක ව්‍යාපාරය නමින් විකිණෙති. සමාජ ශාලා, ගනිකා මඩම්, කැසිනෝ හල් තුලින් තරුණ/තරුණියෝ වැනසෙයි. සමහර තරුණ/තරුණියන්ගේ ඇඳුම් පැළඳුම් මිනිසාව නොයෙකුත් අතින් වැරදි කිරීමට පොලඹවන සුළුය. මෑතකදී අත්අඩංගුවට ගත් ජනප්‍රිය නිළියන්ද ගණිකාවන් ලෙස විකිණෙන බව රහසක් නොවේ.

මෙරට මත්පැනට රාජ්‍ය අනුමැතිය ලබා දී ඇත. රටේ අස්සක් මුල්ලක් නෑර, අරක්කු කඩ, රා තැබෑරුම් ඇත. මත්පැන් පානය කිරීමෙන් පවුල් දහස් ගණනක් විනාශ වී ඇත. මිනී මැරුම් ද සැමතැනම දක්නට ඇත.

මගුල් ගෙදරටත්, මල ගෙදරටත්, දියණියගේ කොටහළු මංගල්‍යටත් මත්පැන් නැතිවම බැරිය. එපමණක් නොව පිරිත් කියන විට තවත් තැනක අරක්කු බෝතල් විවෘත වේ. එසේම අරක්කු සප්පායම් වන්නන් හට උරු මස්, ගව මස් කටගැස්ම සාදා දීමටත් පිරිත් ගෙදර කාන්තාවන්ට සිදු වී තිබේ. අප අසන්නේ “ගව මස් නොකනු ” ව්‍යාපාරයේ නියමුවන්ට පන්සිල් වල ඇති මෙම කරුණු නොපෙනෙන්නේ ඇයි ?

“ගව මස් නොකනු” ව්‍යාපාරයට සහය වෙනවා මෙන්ම මේවාටද විරුද්ධත්වයක්, මහා ව්‍යාපාරයක් ගොඩ නගන්නට තැත් නොකරන්නේ ඇයි ?

එම වෙළඳ ව්‍යාපාර සිංහල බෞද්ධ අය කරන නිසාද?

එසේත් නැතිනම්, “බුදු හාමුදුරුවෝ ඒ ගැන කිව්වට අපි ඒවා වැඩියෙන් තකන්නේ නෑ” යන අදහස නිසාද?

ඇත්තෙන්ම, මෙම ගව මස් නොකනු ව්‍යාපාරය බොලඳ වුවකි. මෙම ව්‍යාපාරය තුලින් මුස්ලිමුන්ට බැන වදින අය කල යුත්තේ එය නොවේ. පළමුව, තමන් ගව මස් ගැනීමෙන් වැලකී, අනෙක් සම ප්‍රාණ ඝාතන ක්‍රියා එනම් ධිවර අමාත්‍යංශ ද නැවත්වීමට රජයට බල කල යුතුය. මන්ද රජයේ බහුතර බලය ඇත්තේ බෞද්ධ මැති ඇමතිවරුන් හා ජනාධිපති තුමා අතෙහිය.

බෞද්ධ ජනයා මස් මාංශ නොකන කල මුස්ලිම් වරුන්ගේ මස් කඩ ඉබේටම වැසී යනු ඇත. ධීවරයිනුත් මුහුදට නොයනු ඇත. කුකුළු ගොවිපලවල්ද වැසී යනු ඇත. ඌරු කොටුද නැති වනු ඇත.

මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි. අනුමත කල එකක් පමණි. එය කෑවත්, නොකැවත් ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. මස්කඩ පවත්වාගෙන යෑමත් ඔවුන්ට අනිවාර්ය වුවක් නොවේ. එසේ තිබියදී “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දික් කිරීම විහිළුවකි. එයින් නුදුර දිනක ජාති වාදී ගැටුමක් ඇති වුවහොත් ඊට වගකිව යුත්තේද, එම ප්‍රචාරණ කටයුතු වල නියැලී සිටි ඔවුන්ම බව වටහාගත යුතුය.

– මුහම්මද් ජෙහාන් ඛාන්

http://obataislam.com/wp-content/uploads/2015/06/maxresdefault-1-1024x576.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/maxresdefault-1-300x300.jpgAdminප්‍රශ්න හා පිළිතුරුඋරු මස්,එළු මස්,කුකුල් මස්,ගව මස්,ටෙන්ඩර්,ධීවර,බිත්තර,බුදුරජාණන් වහන්සේ,බෞද්ධ,මස්,මාංශ,මුස්ලිම්,රජය,සිංහල
මුස්ලිම් වරුන්ට මස් කෑම අනිවාර්ය නොවූවකි. එමනිසා “ගව මස් ” මුවාවෙන් මුස්ලිම් වරුන්ට ඇඟිල්ල දික් කිරීම විහිළුවකි. “ගව මස් නොකනු” ව්‍යාපාරය සංඝයා වහන්සේලාත් බෞද්ධ බැතිමතුන් පිරිසකුත් මෙරටෙහි පවත්වාගෙන යන්නේ මෙරටේ තිබෙන එකම පවත් (අකුසලයත්), එකම ප්‍රශ්නයත් එයයි යන හැඟීම ඇතිව දෝ යි සිතේ. එයට එතරම් ප්‍රමුඛ ස්ථානයක් ලබා දී...