මුහම්මද් ﷺතුමාණන් වක්තෘවරයෙකු ලෙස ධර්ම දූත මෙහෙවර ආරම්කිරීමට පෙර හා වක්තෘවරයෙකු ලෙස ධර්ම දූත මෙහෙවර ඇරඹිමෙන් පසුව එතුමාණන්ගේ ජිවිතය සංසන්දනයට ලක් කළහොත්, අපට නිගමනය කළ හැකිවන්නේ වක්තෘ මුහම්මද් තුමාණන් යනු භෞතික ප්‍රයෝජන, උසස් බව, කීර්තිය හෝ බලය ලබා ගැනීම උදෙසා වක්තෘ භාවය ලබා ගත් ව්‍යාජ වක්තෘවරයෙකු බව සිතිම හේතු සහගත නොවන බවයි.
වක්තෘ මුහම්මද් තුමා, වක්තෘවරයෙකු ලෙස තම ධර්ම දූත මෙහෙවර ඇරඹීමට පෙර එතුමාණන්ට ආර්ථික ගැටළු කිසිවක් නොතිබුණි. සාර්ථක හා සුප්‍රසිද්ධ වෙළෙන්දෙකු ලෙස සතුටුදායක හා සැප පහසුකම් සහිත ආදායමක්ද එතුමා සතු විය. වක්තෘවරයෙකු ලෙස තම ධර්ම දූත මෙහෙවර ඇරඹීමෙන් පසුව හා එය හේතු කොට ගෙන භෞතික සම්පත් අතින් එතුමාණන් ඉතාමත් දිළිඳු බවට පත් වූහ. මෙය තවදුරටත් පැහැදිළි කර ගැනීම සඳහා එතුමාගේ දිවිය පිළිබඳව වන පහත ප්‍රකාශයන් සළකා බලමු:

  • වරක් වක්තෘ මුහම්මද්ﷺ තුමාගේ බිරියක් වන ආයිෂා තුමිය, එතුමියගේ බෑණනුවන් අමතා: “බෑණනුවනි, වක්තෘවරයාණන්ගේ නිවසෙහි (ආහාර පිළියෙල කිරීම සඳහා) ගිනි නොදල්වා මාස දෙකක් නව සඳවල් තුනක් අප ගතකර ඇත්තෙමු” යි පැවසුවාය. එවිට ඔහු “නැන්දේ, ඔබව නොනැසි පවත්වා ගත්තේ කුමක්ද?” යයි විමසන ලදි. ” කළු පැහැති වස්තුන් දෙක, එනම් රටඉඳි සහ ජලයයි. නමුත්, වක්තෘවරයාණන්ට අසල්වැසිව කිරිදෙන ඔටුදෙනුන් සිටින අන්සාරිවරුන් කිහිපදෙනෙකු සිටි නිසා එම කිරි වලින් ස්වල්පයක් වක්තෘවරයාණන්ටත් එවීමට ඔවුන් පුරුදු වී සිටිහ.”1
  • වක්තෘ මුහම්මද්ﷺතුමාගේ අනුගාමිකයෙකු වන සහ්ල් ඉබ්නු සාද් පවසන ආකාරයට “දෙවියන් විසින් එතුමාව වක්තෘවරයෙකු ලෙස යැවු කාලයේ සිට එතුමා අභාවයටපත් වන තුරුම දෙවියන්ගේ වක්තෘවරයාණන් සියුම් පිටි වලින් සෑදූ පාන් නොදුටූහ2.”
  • වක්තෘ මුහම්මද්ﷺ තුමාගේ බිරිය ආයිෂා තුමිය පැවසූ ආකාරයට “වක්තෘවරයාණන් සැතපීම සඳහා පාවිච්චි කළ එතුමාගේ මෙට්ටය සාදා තිබුණේ රටඉඳි ගසෙහි කෙඳි වලින් පුරවන ලද සත්ව සමකිනි”3.
  • වක්තෘ මුහම්මද්ﷺතුමාගේ අනුගාමිකයෙකු වූ අමිර් ඉබ්නු අල් හාරිස් පවසන ආකාරයට “වක්තෘවරයාණන් අභාවයටපත් වන අවස්ථාවේ එතුමාණන් සිය ගමන් බිමන් සඳහා යොදාගත් කොටළුවා, එතුමාගේ පළිහ සහ පුන්‍ය කටයුතු සඳහා වෙන් කරන ලද ඉඩම් කැබැල්ලක් හැර කිසිඳු මුදලක් හෝ අන් කිසිඳු වස්තුවක් ඉතිරිකොට ගොස් නොතිබුණි4.”

මුස්ලිම් භාණ්ඩාගාරය වක්තෘ මුහම්මද්ﷺ තුමාණන්ගේ භාරයෙහි පැවතුනත් එතුමා ඉතාමත් දුක්බර ජීවිතයක් ගත කළහ. එතුමාගේ අභාවයට පෙර අරාබියානු අර්ධද්වීපයෙහි වැඩි කොටසක් මුස්ලිම් බවට පත් වුණි.එතුමාගේ දූත මෙහෙවර අරඹා වසර දහ අටකට පසුව මුස්ලිම්වරුන් ජයග්‍රාහකයන් බවට පත් වූ නමුත් වක්තෘ මුහම්මද් තුමාණන්ගේ  අභාවය දක්වාම එතුමාණන් මෙම දුෂ්කර දිවි පෙවෙතම ගත කළහ.

වක්තෘ මුහම්මද්ﷺ තුමාණන් වක්තෘභාවය ලබා ගත්තේ තත්වය, උසස් බව හෝ බලය ලබා ගැනීමේ අදහසින් විය හැකිද? බලය සහ තත්වය භූක්ති විඳීමේ ආශාව සාමාන්‍යයෙන් හොඳ ආහාර පාන, අලංකාර ඇඳුම් පැළඳුම්, විශාල මාළිගා, මුරකාවල්, නිසැක ආධිපත්‍ය යනාදිය සමග බැඳෙයි. මෙම කිසිඳු දෙයක් වක්තෘ මුහම්මද් තුමාට අදාළ වෙයිද? මෙම පැණයට පිළිතුරු සැපයිමට එතුමාගේ ජීවිතය පිළිබඳව ඉතාමත් කෙටි නිරික්ෂණයන් කිහිපයක් පහත පරිදි උපකාරී කර ගත හැක.

වක්තෘවරයෙකු ලෙසත්, ගුරුවරයෙකු ලෙසත්, උසස් දේශපාලකයෙකු ලෙසත්, විනිශ්චයකරුවෙකු ලෙසත් තම වගකීම් ඉටු කිරීමට අමතරව වක්තෘ මුහම්මද් තුමාණන්ﷺ එතුමාගේ එළු දෙනගෙන් කිරි දෙවීමටත්,4එතුමාගේ ඇඳුම් පිළිසකර කිරීමටත්, එතුමාගේ පාවහන් අළුත්වැඩියා කර ගැනිමටත්,5ගේ දොර වැඩ කටයුතු සඳහා සහාය වීමටත්,6දුගී පුද්ගලයන් අසනීපවූ අවස්ථාවන්හිදි ඔවුන්ගේ සුව දුක් බැලීමට යෑමටත්7පුරුදු වී සිටියහ. එසේම එතුමාගේ අනුගාමිකයින් අඟලක් කණින අවස්ථාවේදී ඔවුන් සමග එක්ව එහි වැලි ඉවත් කරමින් එතුමාණන් ඒ සඳහා සහාය වී ඇත8. එතුමාගේ දිවි පෙවෙත සරළ බවේ සහ නිහතමානිකමේ විශ්මය ජනක ප්‍රතිමූුර්තියකි.

වක්තෘ මුහම්මද් තුමාගේ අනුගාමිකයන් එතුමාණන්ට පුදුම සහගත ආකාරයට ආදරය කළහ. ගෞරව කළහ, එසේම, එතුමාව විශ්වාස කළහ. එසේ වුවත් එතුමා නිරතුරුවම අවධාරණය කර සිටියේ දේවත්වයෙන් සැළකීම දෙවියන් උදෙසා කළයුතු වනවා හැරෙන්නට එතුමාණන්ට පෞද්ගලිකව එසේ නොකල යුතු බවයි. වක්තෘ මුහම්මද් තුමාගේ අනුගාමිකයෙකු වන අනස් ප්‍රකාශ කරන ආකාරයට, වක්තෘ මුහම්මද්ﷺ තුමාණන්හැර ඔවුන් දැඩිව ආදරය කළ වෙනත් අයෙකු නොමැති වුවත්, එතුමාණන් ඔවුන් අසළට පැමිණෙන විට අනෙකුත් පුද්ගලයන් ඉතාමත් උසස් පුද්ගලයන්ට ළගට පැමිණෙන විට නැගිට, ගරු කරන ආකාරයට එතුමාට ගරු කිරිම සඳහා නැගිට සිටීම එතුමාණන් පිළිකුල් කළ නිසා9 ඔවුන් එතුමාණන් වෙනුවෙන් නැගිට නොසිටියහ.

ඉස්ලාමයෙහි සමෘධිය පිළිබඳව අපේක්ෂාවක් ඇතිවීටම බොහෝ කලකට පෙර වක්තෘ මුහම්මද්ﷺතුමාණන්ට  හා එතුමගේ අනුගාමිකයන්ට බොහෝ වධ හිංසා, දුක් වේදනා කම්කටොළු වලට මුහුණ දීමට සිදුවූ යුගයක ආරම්භයේදී එතුමාණන්ට ඉතාමත් සිත්ගන්නා සුළු යෝජනාවක් ඉදිරිපත් විය. මිත්‍යදෘෂ්ටික නායකයන්ගේ නියෝජිතයෙකු වන ඔත්බා නැමැත්තා වක්තෘ මුහම්මද් තුමාණන්ﷺ කරා පැමිණ,” ර්‍ඔබට මුදල් අවශ්‍යනම් අපි ඔබ වෙනුවෙන් ඇති තරම් මුදල් රැස්කර දෙන්නෙමු. එවිට ඔබට අප අතරින් ඉතාමත් ධනවත් අයෙකු වීමට හැකියි. ඔබට නායකත්වය අවශ්‍ය නම් අපි ඔබව අපගේ රජු ලෙස ඔටුනු පළඳවන්නේමු යැයි පැවසිීය”.

මේ සියල්ල වෙනුවෙන් ඔවුන් එතුමාණන්ගෙන් එක් කොන්දේසියක් පමණක් බලාපොරොත්තු වුහ. එනම්, එතුමා ජනයාව ඉස්ලාමය වැළඳගැනීිමට ඇරයුම් කිරීම අත්හළ යුතු යන්නත්, දෙවියන්වහන්සේව නැමදිමේදී එතුමා කිසිදු සගයෙකු නොමැතිව එය තනිවම ඉටුකළ යුතු බවත්ය. මෙලොව වාසි පතන පුද්ගලයෙකුට මෙම යෝජනා මඟින් එක්තරා පෙළඹවිමක් ඇති නොකරනු ඇත්ද? මෙම යෝජනාව ඉදිරිපත් වු විට වක්තෘ මුහම්මද්ﷺතුමාණන් කුමන පැත්තක් ගත යුතුදැයි දෙගිඩියාවකට පත්වීද ? එසේත් නොමැති නම් කේවල් කිරිමේ එක්තරා ක්‍රමයක් ලෙස මෙයටත් වඩා හොඳ දීමනාවක් අපේක්ෂා කරමින් එතුමාණන් එම යෝජනාව ප්‍රතික්ෂේප කළාද ? එතුමාණන් එහිදී පිළිතුරු දුන් ආකාරය පහත දැක්වෙයි. “මහා කාරුණික, පරම දයාබර දෙවියන්වහන්සේගේ නාමයෙනිම එතුමාණන් ඔත්බාට අල් කුර්ආනයෙහි 41 : 1-3810දක්වාවු වැකි පාරායනාකොට පෙන්වූහ. පහත දැක්වෙන්නේ එම වැකි වලින් කිහිපයකි.

මෙය පරම දායබර, අසමසම කරුණාවන්තයා (දෙවියන්වහනසේ) ගෙන් පහළවීමකි. එහි පරිච්ඡේදයන් විස්තරව කරුණු සහිතව දක්වා ඇත. අරාබි බස දන්නා ජනතාවට කුර්ආනයකි. ශුභ ආරංචියන් හා අනතුරු හැඟවීම් සහිත වූවකි. එහෙත් වැඩිදෙනෙක් මෙයට ඇහුම්කන් නොදී ප්‍රතික්ෂේප  කරයි. (අල් කුර්ආන් 41 : 2 – 4)

තවත් අවස්ථාවකදී මිනිසුන් ඉස්ලාමය වෙත කැඳවීම නවත්වන මෙන් වක්තෘ මුහම්මද් තුමාණන්ගේ  බාප්පා විසින් එතුමාණන්ට කරන ලද ඉල්ලිමට එතුමාගේ පිළිතුර ඉතාමත් ස්ථීර හා අවංක විය. “මා දෙවියන්වහන්සේගේ නාමයෙන් දිවුරා පොරොන්දු වෙමි. බාප්පේ, මෙම කාර්යය (මිනිසුන් ඉස්ලාමය වෙත කැඳවීම) අත්හැර දැමීම වෙනුවෙන් ඔවුන් මාගේ දකුණතෙහි සූර්යායත් මාගේ වම් අතෙහි චන්ද්‍රයාත්  ගෙනවිත් දුන්නත්, දෙවියන් එහි ජයග්‍රහණය ලබා දෙන තුරු මා එයින් වැළකෙමි. එසේත් නැතහොත් එය ආරක්ෂා කරමින් මා මිය යමි.”11

මුහම්මද්ﷺතුමාණන් හා එතුමාගේ අනුගාමිකයන් වසර දහතුනක් මුළුල්ලේ ඉතාමත් දරුණු වධහිංසා වලින් පීඩනයට පත්වූුවා පමණක් නොව, එතුමාණන්ව ඝාතනය කිරිම සඳහාද දේව විශ්වාසය නොකරන්නන් බොහෝ වාරයක් උත්සාහ කොට ඇත. එක් අවස්ථාවකදී එසවීමට පවා ඉතාමත්ම අසීරුවු විශාල ගලක් එතුමාණන්ගේ හිස මතට පෙරලීම මඟින් එතුමාව ඝාතනය කිරීමට ඔවුන් තැත් කළහ12. තවත් අවස්ථාවකදි එතුමාගේ ආහාර වලට විෂ මිශ්‍ර කර එතුමාව ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ කළහ13. එතුමාගේ සතුරන්ට එරෙහිව එතුමාණන් සම්පූර්ණයෙන් ජයග්‍රහණය කර තිබියදීත් එතරම් දුක් කම්කටොළු හා පරිත්‍යාග වලින් යුත් ජීවිතයක් සුදුසු යැයි නිර්දේශ කරන්නේ කුමක් මඟින්ද? ඉතාමත් කීර්තිමත් අවස්ථාවන්හිදී පවා එතුමාණන්ගේ එම සාර්ථකත්වයට හේතුව එතුමාණන්ගේ බුද්ධිය හෝ දක්ෂතාවයන් නොම දෙවියන්වහන්සේගේ උපකාරයම පමණක් බව තරයේම ප්‍රකාශ කරමින්, එතුමාණන් පෙන්වන ලද නිහතමානි බව සහ උදාර බව කුමකින් විස්තර කළ හැකිද? මෙම ගතිගුණයන් බල තණ්හාවෙන් පෙළෙන එසේත් නැතිනම් තමාගේ යහපත ගැනම සිතන පුද්ගලයෙකුගේ ලක්ෂණයන් විය හැකිද?

Footnotes:

(1) Narrated in Saheeh Muslim, #2972, and Saheeh Al-Bukhari, #2567.

(2) Narrated in Saheeh Al-Bukhari, #5413, and Al-Tirmizi, #2364.

(3) Narrated in Saheeh Muslim, #2082, and Saheeh Al-Bukhari, #6456.

(4) Narrated in Saheeh Al-Bukhari, #2739, and Mosnad Ahmad, #17990.

(5) Narrated in Mosnad Ahmad, #25662.

(6) Narrated in Saheeh Al-Bukhari, #676, and Mosnad Ahmad, #25517.

(7) Narrated in Saheeh Al-Bukhari, #676, and Mosnad Ahmad, #23706.

(8) Narrated in Mowatta’ Malek, #531.

(9) Narrated in Saheeh Al-Bukhari, #3034, and Saheeh Muslim, #1803, and Mosnad Ahmad, #18017.

(10) Narrated in Mosnad Ahmad, #12117, and Al-Tirmizi, #2754.

(11) Al-Serah Al-Nabaweyyah, Ibn Hesham, vol. 1, pp. 293-294.

(12) Al-Serah Al-Nabaweyyah, Ibn Hesham, vol. 1, pp. 265-266.

(13) Al-Serah Al-Nabaweyyah, Ibn Hesham, vol. 1, pp. 298-299.

(14) Narrated in Al-Daremey, #68, and Abu-Dawood, #4510.

source:-A Brief Illustrated guide to understanding Islam (www.islam-guide.com)ඇසුරිනි

http://obataislam.com/wp-content/uploads/2015/06/simplelife.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/simplelife-300x300.jpgAdminවක්තෘවරුන් පිළිබදඅමිර් ඉබ්නු අල් හාරිස්,ආයිෂා,ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් I,ඉස්ලාම්,ඉස්ලාම් පිලිබඳ අවබෝධයකට රූපිත මග පෙන්වීමක්,ධර්ම,ධර්ම දූත,නිදහස,බිරිදක්,මුස්ලිම්,මුහම්මද්,වක්තෘ,සහ්ල් ඉබ්නු සාද්
මුහම්මද් ﷺතුමාණන් වක්තෘවරයෙකු ලෙස ධර්ම දූත මෙහෙවර ආරම්කිරීමට පෙර හා වක්තෘවරයෙකු ලෙස ධර්ම දූත මෙහෙවර ඇරඹිමෙන් පසුව එතුමාණන්ගේ ජිවිතය සංසන්දනයට ලක් කළහොත්, අපට නිගමනය කළ හැකිවන්නේ වක්තෘ මුහම්මද් තුමාණන් යනු භෞතික ප්‍රයෝජන, උසස් බව, කීර්තිය හෝ බලය ලබා ගැනීම උදෙසා වක්තෘ භාවය ලබා ගත් ව්‍යාජ වක්තෘවරයෙකු බව සිතිම හේතු සහගත නොවන...