‘අල් ට(ත)ක්යා’ යන අරාබි පාරිභාෂික පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්‍යය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්‍රායෝගික අර්ථයයි. ‘අල් ටක්යා’ යන පදය සෘජු ව අල් කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති පද්ධතියේ සඳහන් වී ඇත්තක් නොවේ. ඉස්ලාමය ට එරෙහි ප්‍රචාරණ කටයුතු වල නියැළෙන්නන් මෙම සංකල්පය සනාථ කිරීම සඳහා පහත සඳහන් අල් කුර්ආන් වැකිය උපුටා දක්වති.

“කවරෙකු අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසුව ඔහු ව ප්‍රතික්ෂේප කළේ ද (ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ නොසතුට ඇත). තම හදවත විශ්වාසයෙන් තෘප්තියට පත් ව තිබිය දී (විශ්වාසයෙන් බැහැර වන මෙන්) බල කරනු ලබන්නන් හැර (ඔවුන් කෙරෙහි කිසිම වරදක් නැත).” (අල් කුර්ආනය 16 : 106)

මෙම අල් කුර්ආන් වැකිය පහළ කිරීමට හේතු වූ ඓතිහාසික සිදුවීමක් කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමෙන් එහි සැබෑ අර්ථය අපට අවබෝධ කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. මුහම්මද් තුමාණන්ගේ (අති උතුම් අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා) සමීප මිතුරෙකු වූ අම්මාර් තුමාගේ (අති උතුම් අල්ලාහ්ගේ තෘප්තිය එතුමා කෙරෙහි ඇති වේවා) දෙමව්පියන් වූ යාසර් හා සුමෛයා (අති උතුම් අල්ලාහ්ගේ තෘප්තිය ඔවුන් කෙරෙහි ඇති වේවා) ඉස්ලාමය වැලඳ ගැනීම හේතුවෙන් මක්කාවේ විසු ඉස්ලාම් විරෝධීන් විසින් කුරිරු වධ හිංසා වලට ලක් කොට මරණයට පත් කරන ලදී. මෙවන් පීඩාකාරී තත්තවයකට පත් ව සිටි අම්මාර් තුමාව දිනක් ඉස්ලාම් විරෝධීන් විසින් මරණ තර්ජන ඉදිරිපත් කරමින් ඉස්ලාමය හා මුහම්මද් තුමාණන් ව (අති උතුම් අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා) ප්‍රතික්ෂේප කළ බව පවසන්නට බල කරන ලදී. මෙලෙස තදබල අයුරින් බලපෑම් වලට ලක් වූ අම්මාර් තුමා කිසිවක් කරකියා ගන්නට නොහැකි තත්ත්වයක් තුළ සිතේ විශ්වාසය ශක්තිමත් ව තබා ගනිමින් ඉස්ලාම් විරෝධීන්ගේ ඉල්ලීමට අනුව එසේ ප්‍රකාශ කොට ඉතා දැඩි සිත් තැවුලකට පත් වී මුහම්මද් තුමාණන් (අති උතුම් අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා) හමු වූ විට අම්මාර් තුමා ව නිදොස් කරමින් ඉහත අල් කුර්ආන් වාක්‍ය පහළ කරන ලදී.

ඉහතින් විස්තර කරන ලද පරිදි ජීවිත තර්ජන එල්ල වන ආකාරයේ බරපතළ අයුරින් බලපෑම් සිදුවූ විට තම ආගමික විශ්වාසය පිළිබඳව සිතේ ඇති සත්‍යය තත්ත්වයට පටහැනි අයුරින් අදහස් ප්‍රකාශ කිරීමට අවසථාවක් ඇති අතර ඉන් බැහැර ව වංචනික හා අසත්‍යවාදී අයුරින් ක්‍රියා කිරීමට ඉස්ලාමීය ඉගැන්වීම් හි කිසිඳු අනුමැතියක් නොමැත. මෙවන් තත්ත්වයන් පිළිබඳ ව ඉස්ලාමීය නොවන මුලාශ්‍රයන් හි සඳහන් කරුණක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“අපරාධ පනත් අනුව අපරාධකරුවෙකු කිසිවෙකුගේ බලපෑමක් මත, බල කිරීමක් මත, කළ නොහැකි තත්ත්වයක් නොමැති අවස්ථාවක කරන ලද අපරාධයක් සම්බන්ධ ව වැරදි කරුවෙකු ලෙස උසාවිය නොපිළිගනී.” (‘අපරාධ විද්‍යාව’ – මහාචාර්ය දයා අමරසේකර – 10 වැනි පිටුව)

නුතන අපරාධ විද්‍යාව හා අනුකුලතාවක් ඇති ඉගැන්වීම් දැනට වර්ෂ 1400 කට පෙර පහළ කරන ලද අල් කුර්ආනයෙහි අන්තර්ගත වී තිබීම සැබැවින් ම එහි ඉගැන්වීම් හි ඇති සදාතනික හා යාවත්කාලීනත්වය සනාථ කිරීමක් ලෙස අපි දකින්නෙමු.

අවාසනාවට ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි මගින් හා අනෙකුත් ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරීන් ඉස්ලාමය පිළිබඳ ව ඉදිරිපත් කරන්නට වෙර දරන වැරදි අර්ථ කථනයන් පිළිබඳ ව අපගේ දැඩි පිළිකුල් සහගත විරෝධය දන්වා සිටින්නට කැමැත්තෙමු. ඔවුන්ගේ මතයට අනුව ඉස්ලාමිකයෙකුට ඉස්ලාම් නොවන්නන් ව අසත්‍යයෙන් හා වංචාවෙන් රැවටීමට ඉස්ලාමීය ඉගැන්වීම් අනුමැතිය ලබා දී තිබෙන බවය.

මෙම වංචනික සම්ප්‍රදාය ඉස්ලාමය අනුමත කරන බවට සාක්ෂි ලෙසින් ඉස්ලාම් විරෝධීන් ඉදිරිපත් කරන තවත් අල් කුර්ආන් වැකියක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“විශ්වාසවන්තයින් (තමන් මෙන් වූ) විශ්වාසවන්තයින් ව අතහැර ප්‍රතික්ෂේපකයින් ව ‘අව්ලියා’ (භාරකරුවන්, ආරක්ෂකයින්, උදව්කරුවන්) ලෙස නොගත යුතුය. ඔවුන්ගෙන් වූ තර්ජනයට බිය වුවහොත් මිස මෙලෙස කරන්නෙකුට අල්ලාහ්ගෙන් කිසි(ආරක්ෂා)වක් නොමැත.” (අල් කුර්ආන් 3 : 28)

මෙම අල් කුර්ආන් වැකියෙ හි ‘තුකාතන්’ යන අරාබි පදය යෙදී ඇත. මෙය ‘ට(ත)ක්කියතන්’ යන පදයෙන් බිඳී ගිය නාම පදයකි. මෙහි පැහැදිලි අර්ථය එම අල් කුර්ආන් වැකියෙහි ම අන්තර්ගතය. එනම් ඔවුන්ගෙන් වූ තර්ජනයෙන් හා බලපෑමෙන් ගැලවීම පිණිස මිස එසේ නොකළ යුතු බවය. ඒ හැරෙන්න ට මෙම අල් කුර්ආන් වැකියෙන් හෝ අන් කිසිදු අල් කුර්ආන් වැකියකින් කිසිම ආකාරයක වංචනිකත්වයක් අසත්‍යවාදීකමක් කපටිකමක් ප්‍රෝඩාකාරිත්වයක් හෝ රැවටිලිකාරකමක් ප්‍රගුණ කිරීමට හෝ දිරි ගැන්වීමට අනුබල දෙන ආකාරයේ කිසිදු අදහසක් අන්තර්ගත වී නොමැති බව වගකීමකින් යුක්තව ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු.

ඉස්ලාමය වංචනිකත්වයට අනුබල දෙන දහමක් ලෙස හුවා දැක්වීමට මුහම්මද් තුමාණන්ගේ (අති උතුම් අල්ලාහ්ගේ සාමය හා ආශිර්වාදය එතුමා කෙරෙහි ඇති වේවා) එක් ප්‍රකාශයක් ඉස්ලාම් විරෝධීන් විසින් ගෙනහැර දක්වති.

“යුද්ධය යනු මුළා කිරීමකි” (සුනාන් අබු දාවූද් – 2637)

යුද උපායක් ලෙසින් පමණක් මෙම තත්ත්වය උපයෝගී කර ගත හැකි අතර ඉන් බැහැර ව ඉස්ලාමිකයෙකුට කිසිම අයුරකින් අන් අයව මුළා කොට කටයුතු කිරීමට අනුමැතියක් නොමැත. යුද උපායයන් හා යුද පියවරයන් පිළිබඳ ව සතුරාව දැනුවත් කොට කටයුතු කරන සේනාධිනායකයෙකු අත් කර ගන්නා අවාසනාවන්ත ඉරණම පිළිබඳ ව අමුතුවෙන් අටුවා ලියන්නට අවශ්‍ය නොවන බව සිතන්නෙමු. මෙවන් පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් ඉස්ලාමය අපහසුතාවට පත් කරන්නට වෙර දරන්නන්ගේ උත්සාහයන් හි බොළඳ භාවය මෙම කරුණු වලින් පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.

‘අල් ට(ත)ක්යා’ නම් වූ මෙම ඉස්ලාම් විරෝධී සටන් පාඨයේ අර්ථ ශුන්‍යත්වය හා පදනම් විරහිත භාවය පහත සඳහන් ඉස්ලාමීය ඉගැන්වීම් ඉතා දැඩි හා ස්ථීර අයුරින් සනාථ කරයි.

‘අල් ට(ත)ක්යා’ වැනි පදනම් විරහිත චෝදනා හා කටකතා පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය ගැන ඉස්ලාමීය ඉගැන්වීම් කෙරෙහි පළමු ව අපගේ අවධානය යොමු කරමු.

“විශ්වාසවන්තයිනි, නපුරු අයගෙන් කවුරුන් හෝ ඔබ වෙත යම්කිසි ප්‍රවෘත්තියක් ගෙන එනු ලැබුවහොත් (එහි සත්‍යය දැන ගැනීම පිණිස එය) හොඳින් විමසා (සත්‍යය කුමක්ද යන්න) දැන ගනු. (නොඑසේ නම් ඔහුගේ කියමන විශ්වාස කළ ඔබ) නොදැනුවත්කම නිසා යම්කිසි ජනතාවකට විපතක් සිදු කර පසුව ඔබ කළ දැය පිළිබඳ ව පසුතැවිලි වන්නට සිදු විය හැක” (අල් කුර්ආන් 49 : 6)

ඉස්ලාමිකයෙකු යුක්තිගරුක හා නීතිගරුක පුද්ගලයෙකු විය යුතු බව අල් කුර්ආනය අපට උගන්වයි. එය ඉස්ලාමිකයෙකු හෝ ඉස්ලාම් නොවන්නෙකු යන නිර්ණායකය මත පදනම් නොවී ඉටු කළ යුතු බව ද දන්වා සිටී.

“විශ්වාස වන්තයිනි, යුක්තිය ඉටු කරන්නන් වවු. නුඹලා කෙරෙහි හෝ දෙමාපියන් හා ඥාතීන් කෙරෙහි හෝ විරුද්ධව වුවද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් වවු. ඔහු ධනවත් වුවද දිළිඳු වුවද අල්ලාහ් ඔවුන් දෙදෙනාට (රැකවරණය ලබා දීමට) සුදුසු වන්නේය. නුඹලා තීන්දු දීමේ දී මනෝ ඉච්ඡාව අනුගමනය නොකරවූ. (ඔබ සාක්ෂි දීමේ දී සාක්ෂිය) වෙනස් කළේ නම් හෝ (සත්‍යය ස්ථාපිත කිරීමට) පිටුපාන්නේ නම් හෝ එවිට අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව දැනුවත්ව සිටින්නේය.” (අල් කුර්ආන් 4 : 135)

“(විශ්වාසවන්තයිනි) නීතිය අකුරටම පිළිපැදීමෙහි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5 : 8)

“(විශ්වාසවන්තයිනි) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන් ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින් ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල් කුර්ආන් 16 : 90)

“නුඹලා දැනගෙන සිටින තත්වයේ අසත්‍යය සමග සත්‍යය නුඹලා නොපටලවවු. තවද නුඹලා සත්‍යය නොසඟවවු.” (අල් කුර්ආන් 2 : 42)

“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේ ද සැබැවින් ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 33)

“නුඹලා අතර අසාධාරණ අන්දමින් නුඹලා එකිනෙකාගේ වස්තුව අනුභව නොකරවූ. තවද නුඹලා දැනුවත්ව ම ජනයාගේ වස්තුවෙන් කොටසක් පාපකාරී අයුරින් අනුභව කිරීම පිණිස බලධාරීන් වෙත ඒවා (වස්තුවෙන් කොටසක් අල්ලස් වශයෙන්) නොයවවූ”. (අල් කුර්ආන් 2 : 188)

“සත්‍යය නියත වශයෙන්ම යහපත කරා මඟ පෙන්වයි. යහපත ස්වර්ගය කරා මඟ පෙන්වයි. නියත වශයෙන්ම සත්‍යවාදියෙක් ලෙස අල්ලාහ් විසින් මිනිසෙකු ලියා ගනු ලබන තෙක් ඔහු සත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි. නියත වශයෙන්ම අසත්‍යය අයහපත කරා මඟ පෙන්වයි. අයහපත නිරය කරා මඟ පෙන්වයි. නියත වශයෙන් ම මිනිසෙකු අසත්‍යවාදියෙකු ලෙස අල්ලාහ් විසින් ලියා ගනු ලබන තෙක් ඔහු අසත්‍යය ප්‍රකාශ කරමින් ම සිටියි.’ (බුහාරි හා මුස්ලිම්)

“සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන් ට යමෙක් කාරුණික වන්නේ ද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.” (මිෂ්කාත් අල් මසාබිහ් – 3:1392)

“(තමන් ට කරනු ලබන උපකාරයන් වෙනුවෙන්) මිනිසුන් ට ස්තුති කිරීමට පසුබට වන්නා අල්ලාහ්ට ද ස්තුති වන්ත වීමට පසුබට වන්නෙකි” (අහමද් සහ අත්තිර්මිදී)

“යහ ක්‍රියාවන් අවංකව, නිසි ලෙස හා මධස්ථභාවයකින් යුක්ත ව ඉටු කරන්න. ඔබගේ අපේක්ෂිත ඉලක්කය (ස්වර්ගය) කරා ළඟා වීම පිණිස සෑම ක්‍රියාවක් පිළිබඳව ම (අන්තවාදී නොවී) මධ්‍යස්ථ මැදුම් පිළිවෙතක් නිරතුරුව ම අනුගමනය කරන්න” (සහීහ් බුහාරී 8 : 470)

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “පහත සඳහන් ගුණාංග හතර ඔබට තිබේ නම් ඔබට ලොවෙහි කිසිවිටෙකත් අලාභයක් ඇති නොවන්නේය. ඔබගේ භාරකාරත්වයේ තබන ලද දෑ රැකගැනීම, කථාවෙහි සත්‍යවාදී වීම, අලංකාර වූ හා යහපත් හැසිරීම, ආහාර අනුභවයෙහි මධ්‍යස්ථභාවය එම ගුණාංගයි” (අහමද් සහ බයිහාකි)

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “තමා හරි වුවද එය වෙනුවෙන් කලහකම් කර ගැනීමෙන් වැළකී සිටින පුද්ගලයා ට ස්වර්ගය අවට නිවසක් ලබා දෙන බවට ද, විහිළුවකට හෝ බොරුවක් නොකියන පුද්ගලයාට ස්වර්ගය මැද නිවසක් ලබා දෙන බවට ද, තම චරිතය යහපත් ව තබා ගන්නා පුද්ගලයාට ස්වර්ගයේ ඉහළම කොටසේ නිවසක් ලබා දෙන බවට ද මම සහතික වන්නෙමි.” (සුනාන් අබු දාවුද්)

“නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෛහිවසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ; උඩඟුකමින් ණය බරින් සහ වංචාව යනාදියෙන් තොර ව මරණය ට පත් වන්නෙක් නිශ්චය වශයෙන්ම ස්වර්ගයට ඇතුළු වනු ඇත”. (අද් දාරිමී, ඉබ්නු මාජා සහ අත් තිර්මිදි)

ඉස්ලාමයට එරෙහි ව අසත්‍ය චෝදනා නගමින් අල් කුර්ආනයේ හෝ අනෙකුත් ඉස්ලාමිය මුලාශ්‍රයක සඳහන් නොවන ‘අල් ට(ත)ක්යා’ නමැති වංචනික රැවටිලිකාර ප්‍රෝඩාකාරී අසත්‍යවාදී හා කපටි සංකල්පයක් අල් කුර්ආනයේ අන්තර්ගත බව පැවසීමෙන් හා මුස්ලිම් වරුන් කටයුතු කරන්නේ මෙය පදනම් කර ගෙන බව සඳහන් කිරීමෙන් සමස්ත ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවටත් ඉස්ලාමයේ උත්තරීතර මුලාශ්‍රය වූ අල් කුර්ආනයටත් කර ඇත්තේ අසීමිත අපහාසයක් බව ඉතාම කාරුණික ව දන්වා සිටීමට කැමැත්තෙමු. ඉහතින් උපුටා දක්වා ඇති ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් සමග මෙම චෝදනා කෙලෙස නම් සම කිරීමකට පත් කළ හැක්කේ දැයි අසන්නට කැමැත්තෙමු.

තමන් ට එරෙහි ව කටයුතු කළ පිරිස සම්බන්ධ යෙන් පවා නීතිය හා යුක්තිය ඉටු කරන ලෙස ඉස්ලාමය උගන්වයි.

“ඔවුන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් නුඹ ද ඒ දෙසට නැඹුරු වවු. අල්ලාහ් කෙරෙහි ම විශ්වාසය තබවු. සැබැවින් ම අල්ලාහ් සර්ව ශ‍්‍රාවකය, සර්ව ඥානීය.” (අල් කුර්ආනය 8 : 61)

“දහම හේතුවෙන් නුඹලා සමග සටන් නොකළවුන් හට ද නුඹලා ව නුඹලාගේ නිවෙස් වලින් පලවා නොහරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳ ව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින් ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” (අල් කුර්ආනය 60 : 8)

සතුරන් සමාදානය වෙත නැඹුරු වන්නේ නම් එවිට මුස්ලිම්වරුන් ද ශක්තිමත් ව හා බලයෙන් පසු වුව ද සමාදානය වෙත නැඹුරු විය යුතු බව මෙම වැකිය පැහැදිලි කරයි. කරුණු මෙලෙස ඉතාම පැහැදිලි අයුරින් සඳහන් ව තිබියදී කෙලෙස නම් ඉස්ලාමිකයෙකු මුස්ලිම් නොවන්නෙකු සමග වංචනික අයුරින් ක්‍රියා කරන්නේ දැයි අසන්නට කැමැත්තෙමු.

‘අල් ට(ත)ක්යා’ කාගේ සංකල්පයක් ද යන්න පිළිබඳව ද කරුණු සොයා බැලීම වැදගත් යැයි සිතූ නිසා පහත සඳහන් කරුණු ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු. මෙය ‘ෂියා’ වරුන්ගේ සංකල්පයක් බව පහතින් උපුටා දක්වා ඇති කරුණු ඉතා පැහැදිලි ව සනාථ කරයි. උපුටා දක්වා ඇති සියලු මුලාශ්‍රයන් ‘ෂියා’ වරුන්ගේ පිළිවෙතට අයත් ඒවාය.

1. දහමේ කොටස් දහයෙන් කොටස් නවයක්ම පදනම් වී ඇත්තේ ‘අල් ට(ත)ක්යා’ (එනම් සත්‍යය සැඟවුම) මතය. (මුලාශ්‍රය: උසුල් කාෆි දෙවන කොටස – ඊමාන් හා කුෆ්ර් පිළිබඳ ග්‍රන්ථය – ‘ට(ත)ක්යා’ පිළිබඳ පරිච්ඡේදය)

2. සත්‍යය නොසඟවා (‘අල් ට(ත)ක්යා’ නොමැතිව) කටයුතු කරන්නා සිරසක් නොමැති කඳක් මෙන්ය. (තෆ්සීර් අල් අස්කරි)

3. ‘ඉමාම්’ (ෂියා ආගමික නායකයා) සඳහන් කර ඇති පරිදි මිහිතලය මත ඇති වඩාත් ආදරණීය දෙය වන්නේ ‘අල් ට(ත)ක්යා’ ය. (මුලාශ්‍රය: උසුල් කාෆි දෙවන කොටස – ඊමාන් හා කුෆ්ර් පිළිබඳ ග්‍රන්ථය – ‘ට(ත)ක්යා’ පිළිබඳ පරිච්ඡේදය 217 වැනි පිටුව)

4. ‘අල් ට(ත)ක්යා’ අනුව ක්‍රියා නොකරන්නා විශ්වාසය ශුන්‍යතාව ට පත් වූ අයෙකි. (තෆ්සීර් සාෆි පළමුවැනි කොටස ෆායිස් කෂානි 253 වැනි පිටුව)

5. ෂියා නොවන මුස්ලිම්වරුන් සමග බාහිර ව සුහදත්වය දක්වමින් කටයුතු කරන්න. නමුත් අභ්‍යන්තර ව ඔවුන් ට එරෙහි වන්න (අල් කාෆි 9 වන වෙළුම 116 වැනි පිටුව)

‘ෂියා’ මුලාශ්‍රයන්ගෙන් ‘අල් ට(ත)ක්යා’ පිළිබඳ මෙවන් උපුටා දැක්වීම් තවත් ඉදිරිපත් කළ හැකි වුවද ඉහතින් දක්වා ඇති කොටස ප්‍රමාණවත් යැයි සිතන්නෙමු. ‘අල් ට(ත)ක්යා’ පිළිබඳ ව වැරදි ඉලක්කයක් වෙත පහර දීමට කටයුතු කිරීම සැබැවින් ම එසේ කරන්නන්ගේ ‘අල් ට(ත)ක්යා’ පිළිවෙතක් ලෙස අපි දකින්නෙමු. මෙවන් වංචනික ප්‍රෝඩාකාරී රැවටිලිකාරී අසත්‍යවාදී හා කපටි පිළිවෙතින් ඉවත් වී සත්‍යය පදනම් කර ගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නට කැමැත්තෙමු. අන් දහම් පිළිබඳ ව අපහාසාත්මක අයුරින් කටයුතු කොට අඥාන තෘප්තියක් ලැබීමෙන් වැළකී සිටීම එසේ කරන්නන්ගේ මෙලොව හා මතුලොව යහපතට නිසැකවම යෝග්‍ය වනු ඇත.

ලේඛකයා:මුහම්මද් මන්සූර් දහ්ලාන්
විමර්ෂන කිරීම:මුහම්මද් අසාද් බී.ඒ.
මුලිශ්‍රය islamhouse
http://obataislam.com/wp-content/uploads/2015/06/taqiyya1.jpghttp://obataislam.com/wp-content/uploads/2015/06/taqiyya1-300x300.jpgAdminගවේශණsinhala islam,අල් ටක්යා,අල් තක්යා,චෝදනා,ටකියියා,තක්කියා,බොදු බල සේනා,බොරු,මොහොමඩ් මන්සූර් දහ්ලාන්,රැවටිම,විවේචන,සැදැහැවත් මුසල්මානුවා
‘අල් ට(ත)ක්යා’ යන අරාබි පාරිභාෂික පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්‍යය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්‍රායෝගික අර්ථයයි. ‘අල්...